බැදුම්කර නඩුවක් 25 යළි සලකා බලයි


(මනෝප‍්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රාජ්‍ය බැංකු වලට ලංසු ඉදිරිපත් නොකරන ලෙස දැනුම් දී එම බැංකු වලට රුපියල් කෝටි 20 ක පාඩුවක් සිදු කළැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහි නඩුව ඔක්තෝම්බර් 25 වැනිදා යළි කැඳවීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද  නියම කළේය.
පැමිණිලි පාර්ශවයෙන් ලබාදුන් ලේඛණ අධ්‍යනය කොට එහි යම් අඩුපාඩු ඇද්දැයි දැනුම්දීම සඳහා තමන්ට කල් ලබා දෙන්නැයි විත්තියේ නීතීඥවරු කළ ඉල්ලීමකට ඉඩ දෙමින් විනිසුරු මඩුල්ල එලෙස දින නියම කළේය.
සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධියට අදාළ නඩුව විමසීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විනිසුරු මඩුල්ල පත් කළේය.
2016 මාර්තු මස 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඒ සඳහා ලංසු ඉදිරිපත් නොකරන ලෙස දැනුම් දී එම බැංකු වලට රුපියල් මිලියන 200 ක පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
මුල්‍ය පනත හා ස්කන්ධ හා සුරැකුම්පත් පනත යටතේ චෝදනා 22 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපිතිවරයා විසින් චෝදනා නඟා ඇත.