බැතිමතෙකුට පහර දුන්නැයි දෙවිනුවර දේවාලයේ කපුවා අත්අඩංගුවට


(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
 
ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී පූජා වට්ටියට තබන ලද පඬුරක් ගැට ගැසීම සඳහා රෙදි පටියක් ඉල්ලා සිටි සිව් දරු පියකුගේ හිසට යකඩ බන්දේසියකින් පහරදී තුවාල සිදු කළැයි දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි.


ඉකුත් සිකුරාදා රාත්‍රී එම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයේ කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පැවැත්වීමට පෙර මෙම සිද්ධිය සිදු වී තිබේ.


ප්‍රධාන කපුවාගේ ප්‍රහාරයට ලක්වු බව කියන හොරපාවිට, බමුණුගම පදිංචි බුද්ධික චන්ද්‍රකුමාර හිත්තැටියගේ (44) මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත්කර සිටියි.


අකුරැස්ස ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයකු ලෙස රැකියාව කරන ඔහු සිය බිරිඳ හා දරුවන් සිව් දෙනා සමඟ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වැද පුදා ගැනීමට ගොස් තිබේ.


මාතර මහ රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ බස් කොන්දොස්තරවරයාගේ හිසේ තුවාලයට මැහුම් හතක් යොදා ඇති බවයි.


කෙසේ වෙතත් දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයේ අවසන් දේව තොවිලය හා දේව දානය ආදී චාරිත්‍ර හේතුවෙන් සැකකාර ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගැනීම පොලීසිය ප්‍රමාද කර තිබිණි.