බ්‍රිතාන්‍යයේ රග්බි ක්‍රීඩකයෙක් කොළඹදී මියයයි



 
(ඩයනා උදයංගනී‍)

          
ඉකුත් දා පැවති සුහද රග්බි තරගවලියක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක ක්‍රීඩකයකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හාවඩ් තෝමස් ඇන්ඩෘ නැමති 26 හැවිරිදි ක්‍රිඩකයෙකි.  හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගු‍ණසේකර මහතා පැවසීය.

එම කණ්ඩායමේ තවත් ක්‍රීඩකයකු වන බෙට් තෝමස් රීඩ් නැමැත්තාද මෙසේ රෝගී වී මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සුහද රග්බි තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමක් සහ පුහුණුකරුවෙක් ඉකුත් 10 වැනි දා මෙරටට පැමිණ ඇත.

එම තරඟාවලිය කොළඹ ප්‍රදේශයේ ක්‍රිඩාංගණයක (සී.ආර් ඇන්ඩ් එෆ් සී) පෙරේදා (12) පවත්වා ඇති අතර ඉන් අනතුරුව එම ක්‍රිඩකයින් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගී වී ඇති බව පොලිසිය කියයි.

භෝජන සංග්‍රහයෙන් පසුව එම රග්බි ක්‍රිඩකයින් ඔවුන් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලට පැමිණ ඇති අතර පසුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති බව සඳහන්ය.

සමාජ ශාලාවේ සිට එම ක්‍රීඩකයින් ඊයේ(13) අලුයම 04.00ට පමණ තමන් නවාතැන් ගෙන සිටි හෝටලයකට පැමිණ ඇති අතර ඔවුන් අතරින් ක්‍රිඩකයින් දෙදෙනෙකුට පෙරවරු 10.00ට පමණ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ඉන් එක් අයෙකු මියගොස් ති‍බේ. මළ සිරුර කොළඹ ජාතික රෝහ‍ලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.