බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාගේ සැත්කම් තාවකාලිකව නවත්වයි


අමල් වික්‍රමරත්න , සිරංගිකා ලොකුකරවිට
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයා සිදු කිරීමට නියමිත සැත්කම්  ඇතුළු සියලුම කටයුතු පරීක්ෂණ නිමවනතෙක් නතර කිරීමට නියෝග කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා අද (18) අදාළ අංශ වෙත ලිපියක් නිකුත් කර ඇත.

 
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකරන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති විදෙස් වෛද්‍යවරයකු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සිදුකළ ඉල්ලීම ලංකාදීප වෙබ් අඩවියේ පළවීමත් සමඟම කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා මෙම තීරණය ගෙන තිබේ.
 
රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය ගාල්ල කරාපිටිය රෝහල් ශාඛාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සිද්ධිය (17) වැනිදා අනාවරණය කෙරිණි.
 
එහිදී ඔවුන් අනාවරණය කළේ  සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව විරෝධතාවයක් දැක්වූවද මෙතෙක් ඒ සම්බන්ධ කිසිම පියවරක් ගෙන නොමැති බවත් එම වෛද්‍යවරයා නැවතත් පැමිණෙන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත්  මේ හේතුවෙන් එම වෛද්‍යවරයාගෙන් හෘද සැත්කම් සිදුකර ගන්නා රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පෙන්වා දෙති.