බ්‍රසීල ජාතිකයෝ දෙදෙනා කොකේන් ගුලි 163 ක් වමාරති


(ටී.කේ.ජී.කපිල )

 

මත් කුඩු ගුලි ගිල දමා පැමිණි බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගෙන් මේ වන විට කොකේන් කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 950ක්  එළියට ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි.

 
ගුලි 163ක තිබූ එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් හාර කෝටි අසූ පන් ලක්ෂයක්   (4,85,00,000)  බව ද පොලිසිය පවසයි. 
 
30 හැවිරිදි පළමුව පැමිණි බ්‍රසීල ජාතිකයාගෙන් කොකේන් ගුලි 91 ක් සහ 24 හැවිරිදි දෙවෙනුව පැමිණි බ්‍රසීල ජාතිකයාගෙන් කොකේන් ගුලි 72 ක් ද ඒ ආකාරයට එළියට ගෙන තිබේ.
 
මොවුන් දෙදෙනා ඉකුත් 6/30 දින සහ 7/01 දින උදෑසන දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ යානා වලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙත්දී  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ ශ්‍රීලාල් විජේවර්ධන යන මහත්වරුන්  විසින් අත්අඩංගුවට ගනු ලැබ    වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත බාරදී තිබිණි.

 
මෙම බ්‍රසීල ජාතිකයන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා මීගමුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.

 
නියෝජ්‍යය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ටී.සී.ඒ.ධනපාල මහතාගේ අධීක්ෂණය සහ මෙහෙයවීම මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිති.