බහුතරයක් නැති ආණ්ඩුවට අයවැය සම්මත කරගැනීම අසීරු බව දයාසිරි කියයි



 
 
(ඩයනා උදයංගනී)
          
ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බැවින් අයවැය සම්මත කරගැනීම අසීරු විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.


ඒ සඳහා ඔවුන්ට දෙමළ ජාතික සන්ධානයේ සහය අත්‍යාවශ්‍ය බව කී දයාසිරි ජයසේකර මහතා එහි එහි මන්ත‍්‍රීවරුන්ට පෞද්ගලික වාසි වන ආකාරයේ යෝජනාද මෙම අයවැයට ඇතුළත්ව තිබෙන බව පෙනෙන්නේ යැයි සඳහන් කළේය.

මෙවර අයවැයෙන් ජනතා හදවත් තුළ සිහින රැසක් ඇතිකර ඇති නමුත් ඒවා යථාර්ථයක් වේද යන්න ගැටලූවක් බව කී මහලේකම්වරයා එය රටේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කතා නොකරන මැතිවරණ පමණක් ඉලක්ක කරගත් අයවැයක් බව ද කීවේය.

යම් හෙයකින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පැරදුවහොත් ආණ්ඩුව ද අවසන් වන බව කී මහලේකම්වරයා ඒ බව දැනගෙන කටයුතු කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට දැනුම් දෙන බව ද කීවේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.