බස්නාහිර පළාත් සභාවේ හොරුන් සිටි බව චන්ද්‍රිකා කියයි


බස්නාහිර පළාත් සභාවේ නව ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා වැඩ භාරගැනීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ  කතාවට විරෝධය පා පළාත් සභා මන්ත‍්‍රී මහේෂ් අල්මේදා මහතා කළ ප‍්‍රකාශයක් හේතුවෙන් අද (22) රැස්වීමේ දී දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

බස්නාහිර පළාතේ අධ්‍යාපන මට්ටම පසුගිය කාලයේ දී පහත වැටුණු බවත්, පළාත් සභාවේ සිටින්නේ හොරුන් හා දුෂිතයින් බවත් හිටපු ජනපතිනිය කළ ප‍්‍රකාශය නිසා පළාත් සභාවට අපහාසයක් සිදුවූ බව මන්ත‍්‍රීවරයා කීවේය. එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පළාත් සභාවෙන් සමාව ගත යුතු බවද හේ පැවසීය. ඇය බස්නාහිර පළාත් සභාවේ හිටපු  මහ ඇමැතිවරුන් මෙම ප‍්‍රකාශය සමඟ පළාත් සභාව තුළ දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් ඇති විය.

පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී  හෙක්ටර් බෙත්මගේ යන මහත්වරුන් මෙම අවස්ථාවේ දී නැඟී සිටිමින් පැවසුවේ හිටපු ජනපතිනියට අපහාස වන අයුරින් කතා කිරීම වරදක් නිසා එම ප‍්‍රකාශය හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

එවිට මහේෂ් අල්මේදා මහතා ඊට විරෝධය පෑ අතර සභා රීති අනුව හිටපු ජනපතිවරයකුට දොස් නැගීම වරදක් නොවන බව කී ඔහු තම ප‍්‍රකාශයේ ඇති ඇතැම් වචන පමණක් ඉල්ලා අස්කර ගන්නා බව කීවේය. ඉන් පසු ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ද මැදිහත්වීමෙන් සභාව සන්සුන් විය.

ළමා හා කාන්තා අපචාර සිදුකරන්නන්ට එරෙහිව මරණ දණ්ඩනය ලබාදීම සඳහා කැමැත්ත ප‍්‍රකාශ කරන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මන්ත‍්‍රී ඉන්දික බණ්ඩාර මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එය සභාවේ ඒකමතිකව සම්මත විය.