බස්නාහිර අයවැය සම්මත වෙයි


(මුදිතා දයානන්ද)

බස්නාහිර පළාත් සභා අය වැය අද (12) වැඩි ඡන්ද 75කින් සම්මත විය.

අය වැයට පක්ෂව  ඡන්ද 80ක්ද විරුද්ධව ඡන්ද 5ක්ද ලැබුණ අතර එක් මන්ත‍්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මන්ත‍්‍රීවරු 17ක් සභාවට පැමිණ සිටියේ නැත.

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක් මන්ත‍්‍රීවරයෙක් හැර සභාවට පැමිණි සියලූ මන්ත‍්‍රීවරුද, එක්සත් ජාතික පක්ෂ සියලු මන්ත්‍රීවරුද, මුස්ලිම් කොන්ග‍්‍රස් මන්ත‍්‍රීවරුද, ස්වාධීන මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන සුසිල් කිඳෙල්පිටිය මහතාද අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළහ.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු පමණක් අය වැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන උපාලි කොඩිකාර මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පළාත් සභා රැස්වීම් ශාලාවේදි දින හයක් පුරා  පැවති අයවැය විවාදය අවසන් කරමින් ඊයේ මෙම ඡන්ද විමසීම සිදුකෙරිණ.