රංජන් කස්තුරි
පෞද්ගලික බලාගාර තුනකින් හදිසි අවශ්‍යතාවය මත විදුලිය ලබා ගැනීමට නව ගිවිසුම්වලට එළඹීමට අවස්ථාව ලබා දෙන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එස් බටගොඩ මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
ජනාධිපතිවරයා මූලිකත්වය දරන ආර්ථික කවුන්සිලයෙන් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ එකඟතාවය ද ඊට ලබා දෙන්නැයි ලේකම්වරයා එම ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
දැනට ගිවිසුම් කාලය නිමවී තිබෙන පුත්තලම හෙළදනව්, එස් පවර් ඇඹිලිපිටිය සහ එස් පවර් මාතර යන පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට අවශ්‍ය වන බව ද ඒ සඳහා ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය මැදිහත් වීම ලබා දෙන්නැයි ද බටගොඩ මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.