මම ගල්කිස්ස දෙසට ඇවිද ගියෙමි. පාර දෙපසම නිදා හුන් බල්ලෝ මගේ ගමන වලක්වන්නට මෙන් බුරා හැලූණහ.
ෂික් විතරක්. මේ බල්ලොත් එක්ක පාරෙ බැහැල යන්නවත් බැහැනේ.
මම මටම කියාගත්තෙමි.
බල්ලන්ගෙන් ඈත් වෙමින් තවත් දුරක් ඇවිද ගිය මම අවසානයට නතර වූයේ අලංකාර දෙමහල් නිවෙසක් ඉදිරිපිටය.
කවුරුන්දෝ කතා කරන හඬක් ඇසුනෙන් මම නිහඬව සවන් දුනිමි.
මට මතකයි ඔය ආටිස් කාරයා ආවා මගේ ඡන්ද පෝස්ටරයකට පින්තූරයක් ගන්න වෙලාවෙ මට මේකප් දාන්න. ඕකා මාව මේකප් කර කර මාව වර්ණනා කරපු හැටි මට හොඳට මතකයි. කවද හරි ඔබතුමා අගමැති වෙලා තමයි නවතින්නෙ කියලනෙ එදා ඕකා මට කිව්වේ. අගමැති ...... අගමැති තමයි. යකෝ මම ආසනෙත් පරාදයි.
එකත් එකටම මේ නම් පරාජිත දේශපාලනඥයකුගේ ගෙදරක් විය යුතුමය.
කෝකටත් කියා මම නිවෙසේ සීනුව නාද කළෙමි.
හැබැයි හිතේ චකිතයෙනි. බල්ලන්ගෙන් ප‍්‍රවේශම් වන්න යැයි පුවරුවක් නැතත් බුරාගෙන එන බල්ලකු මගේ යටිසිත බලාපොරොත්තු වූවේය.
ටිකකින් නිවෙසේ දොර ඇරිණි. උසෙන් මහතින් අඩුවක් නැති ආරෝහ පරිනාහ දේහධාරියකු මා ඉදිරිපිට සිටගෙන සිටියේය.
”පේ‍්‍රමචන්ද්‍ර”
”මංගල ජය”
මම මුමුනන්නට වීමි.
”මහ ඇමති”
”මනමේ”
මම ඔහුගේ රූප කාය ඔස්සේ මගේ මතක පොතේ හිරවී ඇති එක් එක් පුද්ගල චරිත සිහියට නැගුවෙමි.
ඔව් ඔව් ඔව් ඔයා හරි.
ඔහු සිනාසුනේය.
”ඒ මම තමයි.”
යර්ස් බොස් නාට්‍යයේ පේ‍්‍රමචන්ද්‍ර, සිකුරුහතේ චිත‍්‍රපටියේ මංගල ජය කපු මහත්තයා, සුබ සහ යස නාට්‍යයේ මහ ඇමති, මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා, වෘෂභරාජ නාට්‍යයේ වෘෂභ රාජ මේ ආදී වශයෙන් රිදී තිරයේ, පුංචි තිරයේ, වේදිකාවේ අමරණීය චරිත රැසකට පණ දුන් ආදරණීය නළුවා ඔහුය.
විජය නන්දසිරි......
”ඉතින් විජය අයියෙ.”
මම කතා බහ අරඹමි.
”බල්ලොත් එක්ක බැරි නිසා මම ඇමරිකා යනවා...”
ඔහු කීවේ මූණ ඇඹුල් කරගෙන නොවේ, ප‍්‍රසන්න ලෙස සිනාසෙමිනි.
”ඇමරිකා යනවා.”
මම පුදුමයෙන් විමසුවෙමි.
පෝරු මස්තක වී විවාහ නොවුණත් ඇමරිකාවේත් බල්ලෝ සිටිති. බලූකිස්තානයේ තරමටම නොවුනත් එරට සිටින බල්ලන්ද අපේ රටේ සිටින බල්ලන්ට දෙවැනි නැත.
”ඔව් මල්ලි. අපි මේ හත් වෙනිදාට තමයි ලංකාවෙන් පිටත්වෙන්නේ.”
”අපි කිව්වේ?”
අපි කිව්වේ අපි. මම විජය නන්දසිරි, ගිහාන් ප‍්‍රනාන්දු, රොෂාන් පිලපිටිය, කුමාර තිරිමාදුර, ෆර්නී රෝෂිනී, එතකොට රවීන්ද්‍ර ආරියරත්න. තව නවාංජන සුචිත‍්‍ර නන්දසිරි අපි කට්ටිය ඇමරිකාවට ගිහින් 14 වැනිදා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී බල්ලොත් එක්ක බෑ නාට්‍යය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ 21 වොෂින්ටන්, 28 නිව්යෝර්ක් නගරවල නාට්‍යය පෙන්නලා ඔක්තෝම්බර් 5 වෙනිදා කැනඩාවේ මොන්ටි‍්‍රයල් නගරයෙත්, 6 වෙනිදා ටොරෙන්ටෝ නගරයෙත් දර්ශණ වාර පවත්වනවා.
විජය නන්දසිරි සිනාසෙන්නට විය. ඔහු ඇමෙරිකා යන්නේ බල්ලන්ගෙන් බේරෙන්නට නොවේ. බල්ලොත් එක්ක බෑ නාට්‍යයේ දර්ශන වාර කිහිපයකට සහභාගී වනු පිණිසය.
මේ දවස්වල ලංකාවේ තියන ජනප‍්‍රියම නාට්‍යය තමයි බල්ලොත් එක්ක බෑ.
කලා ලෝකයේදී හමුවූ කවුරුන් හෝ කෙනෙක් මෑතකදී මා සමඟ පැවසූ අයුරු මට සිහිපත් විය.
”මම ඔය ඇමෙරිකාවට යන්නෙ පළමුවෙනි වතාවටයි.”
විජය කීවේය.
මීට මාස කීපෙකට උඩදී කොහෙහරි ගියා නේද?
මම අසමි.
ඒ ගියේ ඕස්ටේ‍්‍රලියාවටනෙ. එහෙදීත් මේ නාට්‍යය දර්ශන වාර කීපයක්ම අපි රඟ දැක්වූවා.
එහෙදී ලැබුණු ප‍්‍රතිචාර කොහොමද? හොඳද?
ප‍්‍රතිචාර කියන්නෙ අපි එහෙ යන්න මාසෙකට කලින් ප‍්‍රවේශපත‍්‍ර ඔක්කෝම විකිනිලා ඉවරයි.
විජය නන්දසිරි යනු අතිශය කාර්යබහුල නළුවෙකි. නළු රජකු කීවද වරදක් නැත. හේතුව ඔහු බොහෝ නාට්‍යවල රඟපාන්නේ රජ්ජුරුවන්ගේ චරිතය නිසාම නොවේ. ඔහු අතිශය කාර්ය බහුල වන නිසාමය.
”මේ දවස්වල වේදිකා නාට්‍ය කීපයක රඟපානවාද?”
මම අසමි
ප‍්‍රියන්ත රංජිත් ගේ රූකඩ රාජ්ජේ, ආර්.ආර්. සමරකෝන්ගේ කකුල් හතරේ ඉලන්දාරියා, සරත් කුලාංගගේ දෙයියොත් දන්නේ නෑ. මේ නාට්‍ය තුනම ලබන අවුරුද්ද වෙනතුරුම දර්ශනවාර වෙන්ස්කරලා තියෙන්නෙ. හැම සති අන්තයක්ම මට ඉන්න වෙන්නෙ ලංකාවෙ කොහේ හරි වේදිකාවක.
”මට පේන්නෙ ඔබ කතාකරන්නේ අකමැත්තෙන් වගෙයි.”
මම විජයට බාධාකරමි.
”මට මගේ නාට්‍යයක් කරගන්න වෙලාවක් නැති බව ඇත්ත. ඒත් ඉතින් පේ‍්‍රක්‍ෂකයා සතුටට පත්කරන්න ලැබෙන එක සතුටක්නේ.”
ඇත්ත
විජය නන්දසිරිගේ රඟපෑම් වලට පේ‍්‍රක්‍ෂකයෝ බඩ අල්ලාගෙන සිනාසෙති. ඔහු විහිළු කරන්නේ අපේ සමහර නළුවන් මෙන් දෙපිට කැපෙන වචන වලින් නොවේ.
පුරා වසර හතලිස් තුනක් තිස්සේ තවමත් වේදිකාවේ වැඩිම නාට්‍ය ගණනාවක ප‍්‍රධාන චරිත නිරූපණය කරන නළුවා වීමේ භාග්‍යය විජයට ලැබී තිබෙන්නේ අන්න ඒ නිසාය.
ඉතින් හතලිස් තුන් වසරක වේදිකාව ගැන කතාකරන්නට මම විජයට ඉඩ දෙමි.
”මම ඉස්සෙල්ලාම වේදිකාවට නැග්ගෙ 1966 අවුරුද්දෙ. එතකොට මම පාසල් ශිෂ්‍යයෙක්. අමරදාස ජයතුංග රාජ්‍ය නාට්‍ය උළෙලට වීදුරු දිව කියන නාට්‍යය ඉදිරිපත් කළා. මේ නාට්‍ය කරන්න මං ගොඩවුණේ ලූම්බිණි රඟහලට.
විජය සිනාසෙයි.
”ඊට පස්සේ...?”
මම තවදුරටත් ඔහුට අතීතයේ දොර කවුළු විවර කර දෙමි.
”මහාචාර්ය සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සයිමන් නවගත්තේගම, හෙන්රි ජයසේන, ධර්මසිරි බණ්ඩාරනායක, ආර්.ආර්. සමරකෝන්, චන්ද්‍රසේන දහනායක වගේ ලංකාවේ මුල් පෙලේ නාට්‍ය කරුවන්ගේ නාට්‍යවල ප‍්‍රධාන චරිත රඟපෑවා. කොටින්ම කියනවානම් මනමේ චරිතයට අවුරුදු විසි හතක් තිස්සේ පණ දුන්නෙ මම.
මේ මනමේ කුමාරයා අදටත් සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ මහාසාර, කපුවා කපෝති වැනි නාට්‍ය වල රඟපාන බව මට මතකයි.
”මං හිතන්නෙ ඔබට තවත් වටිනා කියන දේවල් මේ වේදිකාවෙන් හමුවෙලා තියෙනවා.”
මම විජය අයියාගේ මුහුණ බලමි
ඔහුට සිනා නැගිණි.
එය මංගල ජය කපුමහත්තයාගේ දෙතොල සැරසූ මනමාල සිනාවට බොහෝ දුරට සමානය.
පේ‍්‍රමචන්ද්‍රගේ පෙම්බර හිනාවද මේ හිනාවටම කිට්ටුය.
‘ඔයා ඔය අහන්න හදන්නෙ දේවිකා ගැනද?’
විජය අසයි.
”ඔව් දේවිකා මිහිරාණි ඔබට මුණ ගැහුණෙත් වේදිකාවෙන් නේද?”
”ඔව්..... ඒ 1973 අවුරුද්දේ. සයිමන් නවගත්තේගමගෙ සුබ සහ යස නාට්‍යයේ දාසියක් විදිහට රඟපෑවේ දේවිකා. මම මහ ඇමති.....”
”ඒ කියන්නෙ මහ ඇමති දාසියකට පෙම් බැන්දා...”
”ඔව්.... එහෙම එකක් තමා වුණේ.”
රජකාලේ ඒ වගේ දේවල් අනන්තවත් සිද්ධවෙලා තියෙනව නේද?”
විජය සිනාසෙයි.
”විජය අයියා අදටත් දේවිකාට සලකන්නේ දාසියකට වගෙයි කියලා මට හිතෙනවා. ඇය දක්‍ෂ නිලියක්. පුංචිතිරේ දිමුතු මුතුව විදිහට පේ‍්‍රක්‍ෂක ආදරය දිනාගත්තා. වේදිකාවෙත් අති දක්‍ෂ නිලියක්. ඒත් ඇයට රඟපාන්නට ඉඩ නොදී ඔබ ඇයව දාසියක් විදිහට ගෙදර හිරකරගෙන ..........”
චෝදනාවක හඬින් කී මම විජය අයියාගේ මුහුණ බලමි.
‘කවදාවත් නෑ. මේ හැම පරිත්‍යාගයක්ම දේවිකා කළේ එයාගෙ කැමැත්තෙන්. එයා ආදරණීය බිරිඳක් විදිහට මාවත්, ආදරණීය මවක් විදිහට දුවත් පුතාවත් බලාගනිමින් රංගනය කැපකළා. දේවිකා ඒ කැපකිරීම නොකළා නම් විජය නන්දසිරිට වේදිකාවට නැගලා මේ සෙල්ලම් දාන්න බැරිවෙනවා.’
”ඔබ කියන්නේ දේවිකා දාසියක් නොවෙයි කියලද?”
”අපොයි ඔව්” එයා රැජිනක්.”
ඒත් ඔබ ඇයට වේදිකාවට එන්න තහනම් කරලා...”
මම තවදුරටත් දේවිකා වෙනුවෙන් පෙනී සිටිමි.
”නෑ.... මගෙ නාට්‍ය වල දේවිකා රඟපානවා. වෘෂභරාජ, කුස පබාවතී නාට්‍ය වල දේවිකා හරි ලස්සනට රඟපානවා.”
විජයගේ ඒ පිළිතුර මට තවත් ප‍්‍රශ්නයකට මඟ පෑදුවේය.
විජය නන්දසිරි අලූතින් නාට්‍යයක් නිෂ්පාදනය නොකරන්නේද යන්න ඒ පැනයයි.
”ඇත්තම කියනව නම් මමත් ඔය ගැන හිත හිතාමයි ඉන්නෙ. පිටපත් කීපෙකුත් හම්බවුණා. හොඳ නාට්‍යයක් ලබන අවුරුද්දේ කොහොම හරි කරනව කියලා තමයි මම හිතාගෙන ඉන්නෙ.
එච්චරද? වෙන ටෙලිනාට්‍ය වල චිත‍්‍රපටිවල එහෙම රඟපාන්න ගියේ නැද්ද ලඟදි.
රඟපෑවා. රඟපෑවා... සුළඟ එෆ්.එම්, එතකොට කෝ මාර්ක් නෝ මාර්ක් කියන චිත‍්‍රපටි දෙකම ඉස්සරහට එන්න තියෙනවා. කෝ මාර්ක් නෝ මාර්ක් ෂිවගුරුනාදන්ගේ වැඩක්. එයාගෙ කිං හන්තර්, නෝනාවරුනි මහත්වරුනි වගේම මේකත් හොඳ හාස්‍යෝත්පාදක වැඩක්. මම මේකෙ රඟපාන්නෙ ද්විත්ව චරිත. එකක් දේශපාලකයෙක්. අනික වෛද්‍ය රසායනාගාරයක කාර්යාල කාර්ය සහායකයෙකුගේ චරිතයක්.
එච්චරද?
බර්මින් ලයිලි ප‍්‍රනාන්දුගෙ සඳලූතලේ කුමාරියක් චිත‍්‍රපටියේත් මං රඟපානවා. මේ චිත‍්‍රපටිය අල්ලපු ගෙදර චිත‍්‍රපටියේම දිගුවක් කිව්වොත් වඩාත් හරි. ඒ පිටපත ඇසුරින් ලියපු අලූත් පිටපතක්. මම මේකෙ රඟපාන්නෙ හියුගෝ මාස්ටර් රඟපෑව සංගීතඥයකගෙ චරිතයමයි.
එච්චරද?‘‘
”නෑ.... තව එකක් තියෙනවා ඉස්සරහට. ඒක ගිරිරාජ් කෞෂල්‍යගෙ අලූත් චිත‍්‍රපටියක්. ඒක ලබන අවුරුද්දෙ පටන් ගනීවි.....”
දැන් අපේ තරු අතර හමුවට සෑහෙන කාලයක් මිඩංගු වී තිබේ. තරු අතර වැඩි කාලයක් සිටින විට දැනෙන්නේ වැඩි උණුසුමකි. හිරුද තරුවකි. එහෙත් වාසනාවකට මෙන් මේ තරු අපේ කලා ලෝකයේ පෑයූ සොඳුරු සෞම්‍ය තරුය. ඒ නිසා කාලය ගෙවී ගියද නොදැනෙයි. විශේෂයෙන් විජය සමඟ ගෙවන කාලය අතිශයින්ම විනෝදජනකය.
‘විජය අයියාට හොඳට සිංදු කියන්න පුළුවන්. ඇයි ඒ හැකියාවෙන් ප‍්‍රයෝජනයක් නොගන්නේ?’
වේදිකාවෙන් බැසගන්නටවත් කාලයක් නැති විජයට මා මේ යොමුකළේ මෝඩ ප‍්‍රශ්නයක් විය හැකිය.
”වේදිකාවේදී චරිතවලට ඕන වුනාම සිංදු කිව්වා. ඊට අමතරව මං සිංදු ගැන හිතුවෙ නෑ.”
එපමණකි.
ඉතින් අපි සමුගත්තෙමු.
තවත් දෙමසකට අපිට විජය හමුවන්නේ නැත.
සුබ ගමන්! ඇමෙරිකාවේදී බල්ලන් හමුනොවේවා!!!”