
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිල සංශෝධනයක් අවශ්‍ය නැති බව ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම (NSO)පැහැදිලිවම දන්වා තිබියදී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහජන මත විමසුමකට යෑම නිකරුණේ මුදල් නාස්ති කරන වැරදි ක්‍රියාවක් බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය.
මේ අවුරුද්දේ විදුලි බිල වැඩි කිරීමක් නොකරන බවද ඔහු සඳහන් කළේය.
කරුණාතිලක මහතා මෙසේ පැවසුවේ භාර (සංශෝධන) පනත් කෙටුම්පත සහ රජයේ පරිපූරක මුදල යෝජනාව පිළිබඳ විවාදයේදීය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ මේ තීරණය ගත්තේ එහි නිලධාරීන්ද එසේ නැතිනම් කොමිෂන් සභාවේ සාමාජිකයන්ද යන්න ගැන පැහැදිලි නැති බව අමාත්‍යවරයා කීවේය.
විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් ගැන දැනුම් නොදී තිබියදී මහජන මත විමසුම සඳහා මහජන මුදල් නාස්ති කිරීම වැරදි මෙන්ම කිසිසේත් නොකළ යුතු ක්‍රියාවක් බවද කරුණාතිලක මහතා පැවැසිය
රජය සහ විදුලි අනුප්‍රාප්තික සමාගම් වැඩ කරන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයන් ගැන කල්පනා කරමින් බව පැවසූ අමාත්‍යවරයා දැනට පුරෝකථනය කර අැති දත්ත අනුව මේ අවුරුද්දේ නැවත වරක් විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද සඳහන් කළේය.
මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට එය හොඳ ආරංචියක් වනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

