බලපත්‍ර නැතිව පුපුරණ ද්‍රව්‍ය තබාගත් කළුගල් ව්‍යාපාරිකයා මාට්ටු


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම අක්කර 20 ප්‍රදේශයේ දී බලපත්‍ර නැතිව වෙඩි බෙහෙත් ඇතුලු පුපුරණ දුව්‍ය තොගයක් ලග තබාගත් ව්‍යාපාරිකයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන මීරිගම පොලිසියට බාර දෙනු ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කදවුරේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාට ලත් තොරතුතුරක් අනුව මෙම වැටලීම කරන ලද්දේ අක්කරවිස්ස ප්‍රදේශයේදීය.

ගල්වළක් පවත්වාගෙන යන බව කියන ව්‍යාපාරිකයකුගේ නිවස සෝදිසි කිරීමේදී බලපත් නැති මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇත.

කිලෝ 25 බැගින් අඩංගු ඇමෝනියා නයිට්‍රෙට් උර තුනක් , ග්‍රෑම් 130 පමණ බරින් යුතු ජෙල් කූරු 81ක්, මීටර් දහයක් පමණ දිගින් යුතු සේවා නූල් 360ක් හා විදුලිමය නොවන ඩෙටනේටර් 107 ක් මෙහිදී විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.

මෙසේ පුපුරණ ද්‍රව්‍ය ලග තබාගැනීම හා ඒවා ලැබුනු ආකාරය හෙලි කර ගැනීමේ වැඩිදුර විමර්ශන සදහා සැකකරු හා නඩු භාණ්ඩ මීරිගම පොලිසියට බාරදී ඇති අතර අත්තනග්ලල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.