බල සේනා දෙකටම උසාවියෙන් අවවාද


ආගමික සංහිඳියාවට හානිකර කිසිත් නොකරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බොදුබල සේනාවට සහ ජාතික බල සේනාවට අද අවවාද කළේය.

කොළඹ නිපොන් හෝටලයේ ජාතික බල සේනා රැස්වීමට බලෙන් ඇතුළු වී අවහිර කිරීම හා කුරාණයට අපහාස කළැයි කියන සිද්ධියක් මත බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූහු සිව් නමක් ද, ගිහියෝ දෙදෙනෙක් ද රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූහ.

ඥානසාර හිමි, විතාරන්දෙනියේ නන්ද හිමි, අරියවංශ සම්බුද්ධ හිමි, චන්දානන්ද හිමි, පී ජී ගුණවර්ධන හා පී වෑවල ඇප ලැබුවෝ වෙති.

නඩුව ජුනි 09 වැනි දාට කල් තැබූ මහේස්ත්‍රාත් අද උසාවියට නොපැමිණි වැලිමඩ චන්දරතන හා වැල්ලම්පිටියේ සුමනධම්ම හිමිවරුනට ද එදිනට පැමිණෙන ලෙස නොතීසි නිකුත් කළේය.