බම්බලපිටිය අබලන් දුම්රිය පාලම අලුත් කරන්න ජනපති නියෝග


(අංජුල මහික වීරරත්න)

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් වී ඇති මගී ගුවන් පාලම වෙනුවට මාස පහක් ඇතුලත නව පාලමක් ඉදි කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

දින දහයක් ඇතුලත තාවකාලික ප්‍රවේශ මාර්ගයක් ඉදිකර මගීන්ට දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ඒ සමඟම දැනට ඇති ගුවන් පාලම කඩා ඉවත් කරන්නැයි ද දැනුම් දී තිබේ.

හදිසි අවශ්‍යතාවක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාළ කාර්ය පවරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර  ඒ සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කිරීමට නියමිතය.

නිර්මාණ හා ඉදිකිරීම අධීක්ෂණය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන අතර මෙම සියලු කටයුතු අද (9) සිට ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. 

ජනාධිපතිවරයාගේ  උපදෙස්  පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත අදාල දැනුම් දීම  කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.