බන්ධනාගාරයේ සිට මත්කුඩු ගෙන්වනවා නම් වරද කොහේ දැයි සෙවිය යුතුයි


(ඩයනා උදයංගනී)
      
අපරාධකරුවන් බන්ධනාගාරය තුළ සිටත් අපරාධ මෙහෙයවීම, මත්කුඩු ගෙන්වීම  සිදු කරනවා නම් වරද කොහේ දැයි කඩිනමින් සොයා බැලිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 

රටේ සිදුවන මත්කුඩු ජාවාරම සහ අපරාධ මැඩ පැවැත්වීමට නම් එල්ලූම් ගහ අවශ්‍ය බවට සමාජයේ මතයක් ඇතිවීමෙන් පෙනී යන්නේ රටේ නීතිය, සාමය ආරක්‍ෂා කිරීමට ඇති පොලීසිය, අධිකරණය සහ බන්ධනාගාරය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බව යැයි ද ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.
      
යුරෝපා සංගමය ආදී සංවිධාන මේ දෙස බලන්නේ මානව හිමිකම් කෝණයෙන් වුවත් දියුණු හා ශිෂ්ට සම්පන්න රටක් බව කියන ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම ක‍්‍රියාත්මක බව කී ඇමැතිවරයා අපේ රටේ ඇති තත්ත්වයක් පාලනය කරගැනීමට අනුගමනය කළ යුතු ක‍්‍රමවේදය දැනගත යුත්තේ අපම යැයි ද සඳහන් කළේය.
 
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ එල්.ආර්.ඩී.සී. සේවා පෞද්ගලික සමාගම හා චීනයේ හුආ ටයි සොන්ග් හෙන්ග් ආරක්‍ෂක තාක්‍ෂණික පෞද්ගලික සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
      
මෙම ගිවිසුම් අත්සන් කිරීම බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදුකෙරිණි.