තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට හා රහස් පොලීසි අධ්‍යක්ෂවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් පරීක්ෂණයක් සිදු කරන බැවින් පෙත්සම මඟින් ඉල්ලා ඇති සහනය ලැබී තිබේය යන පදනම මත මෙම පෙත්සම විභාගය නිෂ්ප්‍රභා කෙරිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැඳවිණි. මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි මාධව තෙන්නකෝන් මහතා කියා සිටියේ පෙත්සමින් ඉල්ලා ඇති සහන වලට අදාළව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවය.
ඒ අනුව ඉල්ලා සිටි සහනය ලැබී ඇතියි පදනම මත පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය කැමැත්ත පළ කළ අතර එම අවසරය මත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම් විභාගය නිෂ්ප්‍රභ කරන ලදී.