(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරායේ කාන්තා රැඳවියෝ 25 දෙනෙක් පමණ අද පෙරවරු 6.00 සිට එහි වහලය මතට නැගී විරෝධතාවයක නියැලුනේ තමන් එතෙක් විඳි පහසුකම් අහිමිවූ නිසා බව බන්ධනාගාරයේ ඇතුළත තතු දන්නෝ කියති.
මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන මෙම කාන්තා රැඳවියන් පිරිස ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන මෙම විරෝධතාව ආරම්භ කර තිබිණි.
බදුල්ලට මාරු කරන ලද හිටපු ප්‍රධාන ජේලර්වරිය නැවත ලබා දීම,සිර කුටි මාරු කිරීම නතර කිරීම , සීමාවකින් තොරව ආහාර ගෙන ඒමට ඉඩ ලබා දීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම මෙම විරෝධතාවයේ ඉල්ලීම් වේ.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි කාන්තාවන් 300ක් පමණ පසුගියදිනවල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ අතර එම හිස් වූ වාට්ටුවලට රිමාන්ඩ් කාන්තාවන් මාරු කිරීම ඉකුත් 11 වැනිදා ආරම්භ වූ අවස්ථාවේදී බන්ධනාගාර කාන්තා නිලධාරීන් හා රැඳවියන් අතර ගැටුමක් හට ගෙන තිබුණි.
මෙම ගැටුම සංසිඳවීමට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට කාන්තා රැඳවියන් හූ කියා දැඩි විරෝධතාවයක් ද පළ කර තිබේ.
මේ වන විටත් කාන්තා රැඳවියන් 20ක් පමණ මාරුවෙන් මාරුවට වහලය මතට නගින අතර ඔවුන් බැස්සවීමට නොහැකිව ඇත.තත්ත්වය පාලනය කිරීම සඳහා බොරැල්ල පොලිසියෙන් කණ්ඩායමක් යොදවා තිබේ.