බදුල්ලේ අධික වර්ෂාවෙන් පුද්ගලයන් 207ක් අවතැන්


(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාවත් සමඟ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 51ක පුද්ගලයන් 207ක් අවතැන් වී නිවාස 63කට අර්ධ හානි සිදුවී ජීවිත හානි 2ක් අද  (22) වන විට වාර්තා වී තිබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 60ක්,ඌවපරණගම නිවාස 2ක්,හපුතලේ නිවාස 1කට මෙසේ අර්ධ හානි වී තිබේ .

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවතැන් වූවන් ගල්කන්ද දෙමළ විද්‍යාලයේ සහ දබේතැන්න දෙමළ විද්‍යාලයේ නවතා ඔවුනට පිසූ ආහාර දෙන බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

පවතින වර්ෂාවත් සමඟ ගස්කොළන් පස්කඳු ගල් පර්වත කඩා වැටීම මෙන්ම නාය යෑමේ අවදානම නිසා ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසට බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.