බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීට පහරදීම ගැන සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට


(හාලිඇල- විජේරත්න රත්නායක)
බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී බාලක්‍රිෂ්ණන් මුරලිදරන් (එ.ජා.ප.) යන අයට පහර දීම සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පොලීසිය මඟින් අද (04) අත් අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පස්සර පාර දෙකේ කණුවේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු සහ පස්සර පාර උඩවෙල පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
 

ඉකුත් (02) දා රාත්‍රී කාලයේ බදුල්ල පස්සර පාර දෙකේ කණුව මංසන්ධියේ වෙළඳසැලක් අසළ සිට පුද්ගලයන් දෙදෙනෙකු තමන්ට පහරදුන් බවට මන්ත්‍රීවරයා විසින් පොලීසියට කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.


පසුගියදා විශාල විරෝධතා උද්ඝෝෂණයකටද මුල්වූ බදුල්ල ප්‍රාදේශීය සභාව මඟින් ආරම්භ කොට ඇති නව කසළ ප්‍ර‍තිචක්‍රීකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇතැයි පැවසේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.