බදුල්ල නගර සභාව උණුසුම් වෙයි



 
පාලිත ආරියවංශ      

                                
බදුල්ල මහ නගර සභාවේ මාසික රැස්වීම  අද (10) පැවත්වෙන  අතරතුර  එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්  නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාට  අසභ්‍ය වචනයෙන් බැන වදිමින් කළහකාරි ලෙස හැසිරිම නිසා සභාව විනාඩි 10 කට කල්තබා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ යළි සභාව ආරම්භ කිරිමට සිදුවිය .


පසුගිය සභා වාර්තාවේ වැරදි විශාල ප්‍රමාණයක් ඇතැයි  විපක්ෂ නායක අමසිරි හේමචන්ද්‍ර මහතා ආවේගශීලිව කතා කරමින් සිටියදී උණුසුම් තත්ත්වය මතුවිය.


මේ අතර නගරාධිපතිවරයා තවත් කීපදෙනෙකුගේ චරිත ඝාතනය වන අයුරින්  පුවත්වතකට කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන්   සභාවට කරුණු පැහැදිලි කළ නගරාධිපතිවරයා  තමා කී  දේ වැරදි ආකාරයට පුවත්පතේ පළකර ඇති බව දැක්වු අතර එහි පලවු දේ පිළිබඳව සිත තැවුලක් වේ නම් තමා කළගාටුව පළකරන බව කීවේය .

ඒ අවස්ථාවේ එජාප මන්ත්‍රී  රවී සුරේෂ්  මන්ත්‍රීවරයා නගරාධිපතිවරයාගේ පැහැදිලි කිරිමට බාධා කරමින් සභාවට නොගැලපෙන වචන කියමින් නගරාධිපතිවරයා බැන වදින්නට විය.


ඉන්පසු සුරේස් මන්ත්‍රීවරයා කළහකාරි ලෙස නගරාධිපතිවරයට ළඟට යාම උත්සාහ කළත්  මන්ත්‍රීවරු කීපදෙනෙක් ඉදිරිපත්ව එය වළක්වා ගනු ලැබීය .