බදුල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය වෙල්ගමට


(ආර්. කෝගුලන්)

බදුල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට කෙනෙකු නොමැති නිසා මහින්ද රාජපක්ෂ මහතා  විසින් තමන් පත් කරන ලද බැව් කළුතර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. මන්ත්‍රි වරයා මෙසේ පැවසුවේ වැලිමඬ බොරලන්ද ප්‍රදේශයේ පැවති පක්ෂ ක්‍රියාකාරි හමුවකදීය.

“අද බදුල්ල දිස්ත්‍රික්කයේ ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාලද සිල්වා,  චාමර සම්පත්, ලක්ෂ්මන් සෙනෙවිරත්න වගේ හැමෝම ඉන්නේ අනෙක් පැත්තේ. හැබැයි නායක මට්ටමේ අය අනෙක් පැත්තේ හිටියට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ඇතුළු ජනතාව ඉන්නේ අපේ පැත්තේ. මේ දිස්ත්‍රික්කයේ ආසන නවයේම සංවිධාන කටයුතු කරගෙන යනකොට මට ඒක පෙනෙනවා. මහින්ද මහත්තයාගේ ඉල්ලීම අනුව ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ඒකාබද්ධ විපක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රාහණයට තමයි සංවිධාන කටයුතු අපි කරන්නේ.‘ 

‘ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා කියනවා ඒ අය ඕනෑම මැතිවරණයකට සූදානම් කියලා. අපි කියනවා ප්‍රාදේශිය සභා මැතිවරණය තියලා බලන්න  අපි ඉහලින්ම දිනන හැටි පෙන්නන්න කියලා“ 

“බදුල්ල දිස්ත්‍රික්කයට හොඳ නායකත්වයක් නැති නිසා තමයි මාව පත් කළේ. ගමේ මන්ත්‍රිලා, මිනිස්සු අපේ පැත්තට ඉන්න මේ දිස්ත්‍රික්කයේ නායකයෝ ඉන්නේ අනෙක් පැත්තේ. අවුරුදු 35 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වරයෙක් හැටියට හිටිය මට ලංකාවේ ඕනෑම තැනකින් ඡන්දය ඉල්ලන්න පුළුවන්“

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වශයෙන් වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ ඉදලා ජනතාව එක්ක ඉන්න කෙනෙක් මම. කළුතර දිස්ත්‍රික්කයේ ඕනෑම කෙනෙක් ඒක දන්නවා. මහින්ද මහත්තයා කියන ඕනෑම තැනකට යන්න මම කැමතියි. බදුල්ල දිස්ත්‍රික්කය ඕනෑම වේලාවක දිනන්න පුළුවන් විදියට මහින්ද මහත්තයාට මම සංවිධානය කරලා දෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ මගේ පුතත් ඉන්නවා. මහ මැතිවරණයක් එනකොට බලමු කොහෙන්ද තරග කරන්නේ කියලා.‘“ යයිද කුමාර වෙල්ගම මහතා පැවසීය.

(ඡායාරූප හා වීඩියෝ ආර් කෝගුලන්)