බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය


අජන්ත කුමාර අගලකඩ

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප්  ලබන නිලධාරීන්ගේ සහ රාජ්‍ය බැංකුවල ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන විට ගෙවිම් බදු ලෙස රජයට ගෙවිය යුතු බදු මුදල් එම ආයතනය මගින් ගෙවීම වෙනුවට අදාළ නිලධාරීන් ගෙන්වා අය කර ගැනීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇත.

ඒ සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා අද (30) ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ඇමති මණ්ඩල අනුමැතිය ලැබුන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන අන්දමට විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු ඉහළ වැටුප් ලබන නිලධාරීන් සහ රජයේ බැංකු කිහිපයකම ඉහළ වැටුප් ලබන නිලධාරීන් උපයන විට ගෙවිය යුතු බදු මුදල් දැනට ගෙවනු ලබන්නේ  එම ආයතන විසිනි.

මෙය අසාධාරණ  බවත් එමගින් රජයේ අනෙකුත් සේවකයින්ට බරපතල අසාධාරණයක් සිදුවන බවත් ඇමති මංගල සමරවීර මහතා ජනාධිපති කර්යාලයේ අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර මෑතදී සම්මත කරන ලද බදු සංශෝධන පනත සංශෝධනය කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ළමා ඉතිරි කිරීම් වලින් අය කරන බදු ඉවත් කිරීමටත් මැති ඇමතිවරුන්ගේ අමතර දීමනා සඳහා පනවා ඇති බදු යලි සංශෝධනය කිරීමටත් තීරණය වී ඇතැයි වාර්තා වේ.

මෙහිදි අදහස් දැක්වා ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ ඉහළ නිලධාරීන්ට වාහන ආදී සහන දී තිබෙන්නේ ඔවූන්ගේ කටයුතු  පහසු කිරීමට බැවින් එය ආදායමක් ලෙස සලකා කටයුතු කිරීම සාධාරන නොවන බව පවසා දැනගන්නට තිබේ.

එමෙන්ම මැති ඇමතිවරුන් ගරු මැති ඇමතිවරුන් ලෙස සලකන්නේ ඔවුන් වැටප් ලබන පිරිසක් නොවන නිසා බවත් ඔවුන්ට දීමනාවක් මිස වැටුපක් නොගෙවන බවත් ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.