බදු ගෙවන්නන්ට උපදෙස් ලබාදීමේ සේවාවක්


(රංජන් කස්තුරි සහ නාලක දහනායක)
 
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට උපදෙස් ලබාදීම සඳහා සේවාවන් ආරම්භකර තිබෙන අතර ඒ සඳහා රුපියල් 25000ක මුදලක් අය කෙරෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී .එම්.එල්.අයි දිසානායක මහතා පැවසීය.
 

බදු ගෙවන්නන්ට සිය පෞද්ගලික බදු ගැටළු සම්බන්ධයෙන් උපදෙස් ලබාගත හැකි අතර ඒ සඳහා විශේෂඥ දැනුමක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරී මණ්ඩලයක්  පත්කර සිටන බවද දිසානායක මහතා කීවේය.
 
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ මෙම සේවාව ආරම්භ කළ අතර මෙවැනි සේවාවන් වෙනත් රටවලද ක්‍රියාත්මක වන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
 
බදුගෙවන්නන්ට මෙම විශේෂඥ සේවාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීම වාසිදායක වන අතර පිටතින් එම සේවාව ලබාගැනීමේදී විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
 
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙලෙස මුදල් අයකරනු ලබන්නේ බදු ගෙවන්නෙකුගේ පෞද්ගලික බදු ගැටළු සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට වන අතර පොදුවේ බදු නීති හා ගැටළු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව නොමිලයේ තොරතුරු සපයන බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.