බදු ගැන රජය ඉන්නේ වැරදි අදහසක - මැදගම ධම්මානන්ද හිමි


චමිල් රූපසිංහ
 
රටේ මිනිසුන්ට බදු පනවා මිනිසුන්ගේ අතේ තියෙන මුදල් වලින් රජයේ තියෙන කටයුතු කරගන්නට පුලුවන් කියා රජය   වැරදි අදහසක  සිටින බව මැදගම ධම්මානන්ද අස්ගිරි පාර්ශ්වයේ  ලේඛකාධිකාරී නාහිමියෝ පැවසූහ.
 
මැදගම ධම්මානන්ද නා හිමියන් මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති ජී එල් පිරිස් මහතා අද (13) වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියන් හා අස්ගිරි පාර්ශ්වයේ   ලේඛකාධිකාරී නාහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීය.
 
මැදගම ධම්මානන්ද නාහිමියන් මෙසේද පැවැසුහ.
 
‘රටේ නිෂ්පාදනයන් වැඩි කරල විදේශ විනිමය උත්පාදනය කරගන්න ඕනෑ. කෘෂිකාර්මික වශයෙන් දියුණුවක් ඇති කරගන්න ඕනෑ. නමුත් ඒ කිසි දෙයක් නැතුව විවිදාකාරයෙන් බදු පැනවීමෙන් මිනිස්සු පීඩනයට පත්කිරීමෙන් මනුස්සයාගේ තියෙන දුක් ගැනවිලි වැඩිවීමක් වෙනවා. එවිට රටේ සංවර්ධනය සම්පූර්ණයෙන් ඇන හිටිනවා. රටේ ආර්ථිකය සතුටුදායකයි කියා අපිට කියන්නට හැකියාවකුත් නෑ.
 
අපි මේ සම්බන්බන්ධව   රජයට විවිද අවස්ථාවලදි කියලා තියෙනවා. මේ විදිහට දිගින් දිගටම ගියොත් රටේ ආර්ථිකය වගේම ජනතාවත් දුගී දුප්පත් කමට පත්වෙනවා. මෙහෙම යෑම රටේ දේශපාලන අස්ථාවර භාවයට හේතුවක් වෙනවා. මේ අකාරයට දිගින් දිගටම යද්දි අපට හානි කරන්නට බලන් ඉන්න විදෙස් රටවල් වල පිරිස් වලට අපව යටත් කර ගැනීමේ අවකාශයක් ඇති වෙනවා. එනිසා දේශපාලනයේ ඉන්න කවුරුත් මේ දේවල් ගැන කල්පනාකාරි වෙන්න වෙනවා.‘‘