බත්තරමුල්ල - කෝට්ටේ වෙනම මහනගර සභාවක් කිරීමට යයි


(මුදිතා දයානන්ද)
 

පරිපාලන ආයතන ගණනාවක් යටතේ පාලනය වීමෙන් ඇතිව තිබෙන ගැටලු වළක්වා බත්තරමුල්ල -කෝට්ටේ ප්‍රදේශය වෙනම මහනගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (01) පැවසීය.
 
පාඨලී මහතා මෙසේ පැවසූයේ බත්තරමුල්ල බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.
 
බත්තරමුල්ල කෝට්ටේ ප්‍රදේශය එක් පසෙක පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ස්ථාපිතව තිබෙන අතර තවත් පසෙක ජනාවාස ස්ථාපිත වී ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින බවද ඔහු පැවසීය. එහෙත් මේ ප්‍රදේශය කෝට්ටේ මහ නගර සභාව, මහරගම නගර සභාව, කඩුවෙල මහ නගර සභාව, කොටිකාවත්ත මුල්ලේරියාව නගරසභාව ආදි පරිපාලන ආයතන ගණනාවක් යටතේ පරිපාලනය වීම නිසා ගැටලු රැසක් මතුව ඇතැයිද රණවක මහතා පැවසීය.
 
එයට පිළියම් ලෙස මේ ප්‍රදේශය වෙනම පරිපාලන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර පළාත් පාලන අමත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව මහනගර සභාවක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. එයින් එම ප්‍රදේශය ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

 

(ඡායාරූප-ශාන්ත රත්නායක)