ඩයනා උදයංගනී
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව මාස තුනක විශේෂ ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කර පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
මෙම සැලැස්ම නොවැම්බර් මස පළමු වැනිදා සිට ජනවාරි 30 වැනිදා දක්වා කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ යටතේ උමා ඔය ව්‍යාපෘතිය නිසා හානියට පත්වූ නිවාස තක්සේරු කිරීම නොවැම්බර් 31 වැනිදාට පෙර අවසන් කිරීමටත්, පානීය ජල ගැටළුව විසඳීම සඳහා නොවැම්බර් 10 වැනිදාට පෙර පියවර ගැනීමටත්, නැවත පදිංචි කිරීම් පිළිබඳ විමර්ශන වාර්තාවක් සතියක් තුළ ලබාදීමටත්, වගා හානි ගෙවීමේ කටයුතු නොවැම්බර් 31ට පෙර අවසන් කිරීමටත් නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

