ඵෙතිහාසික ස්ථාන සංරක්ෂණයට කැමැති අයට රජයෙන් මූල්‍ය අනුග්‍රහය


(හර්ෂණ තුෂාර සිල්වා / ඡායාරූප - ගයාන් අමරසේකර)

ඓතිහාසික ගොඩනැගිලි ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය කිරීමට කැමැති පිරිස්වලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) කොළඹදී පැවැසීය. 
ශ්‍රී ලංකාව තුළ ඓතිහාසික වටිනාකමක් සහිත ගොඩනැගිලි රැසක් තිබෙන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියල්ල හඳුනාගෙන ආරක්ෂා කිරීමටත් සංරක්ෂණය කිරීමටත් මෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය උදෙසා යොදා ගැනීමටත් කටයුතු කළ යුතු යැයි ද කීවේය.  
කොළඹ ග්‍රෑන්ඞ් ඔරියන්ට් හෝටලයේ පැවැති “සජීවී උරුමය” දෙදින සමුළුව සහ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අගමැතිවරයා එම කරුණු කීවේය. 
යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය එක්ව එය සංවිධානය කළ අතර උරුමය පදනම් කරගත් සංවර්ධනයක් යන්න තේමාව කරගනිමින් නගරවල පවතින ඓතිහාසික උරුම ආරක්ෂා කරගනිමින් සංවර්ධනය කරා ගමන් කරන්නේ කෙසේද යන්න ප්‍රධාන අරමුණ කරගනිමින් මෙම සමුළුව සහ සම්මන්ත්‍රණය පැවැත්වේ. 
 “අපේ රටේ පෞරාණික ගොඩැනිගිලි රැසක් තිබෙනවා. ඒ සියල්ල හඳුනාගත යුතුයි. ආරක්ෂා කර ගත යුතුයි. එසේ කරන පිරිස්වලට අපි මූල්‍ය අනුග්‍රහාය දක්වනවා. රජයක් ලෙස සහාය දක්වනවා. මෙතැන මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ඉන්නවා. ලංකාවේ තිබෙන, විශේෂයෙන්ම කොළඹ තිබෙන ඉපැරැණි ගොඩනැගිලි මොනවාදැයි නම් කරන්න. ඒවා ආරක්ෂා කරන්නේ සංරක්ෂණය කරන්නේ කෙසේදැයි කියන්න. අපි ඔබට මූල්‍ය සහාය දක්වනවා.
ශ්‍රී ලංකාවේ ගොඩනැගිලිවල ඉතිහාසය ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය ථූපාරාමය ඉදි කිරීම දක්වා දිව යනවා. රාජධානිවලින් පසුත් ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය පැවතුණා. ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයට බි්‍රතාන්‍ය සහ ලන්දේසි ආභාෂය ලැබුණා. ඒ වගේම කොළඹට පමණක් ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්පයක් තිබෙනවා. ඒ නිසා අපි අතීතයත්, වර්තමානයත් අනාගතයත් සම්බන්ධ කළ යුතුයි. 
අපි අලුත් ගෘහ නිර්මාණ ශිල්පයක් බිහි කරනවා. ආසියාවේ කේන්ද්‍රස්ථානය කරා යන ගමනේදී අපි අතීත උරුමයත් වර්තමානයත් සම්බන්ධ කරමින් අලුත් ගෘහ නිර්මාණ ශිල්පයක් බිහි කරනවා” යැයි ද අගමැතිවරයා කීය.