ප‍්‍රදීප් පිළිගැනීමේ උත්සවයෙන් පසුව රථ පෙරහරකින් කොළඹට පැමිණෙයි


එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජය හෙට (12) පස්වරු 12.50 ට දිවයිනට පැමිණෙයි. පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකු ලබාගත් පළමු පදක්කමේ හිමිකරුවා වන ප‍්‍රදීප් වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය සහ යුද හමුදාව එක්ව පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබේ. කටුනායක ගුවන් තොටුපොළේදී රතු පළස මතින් පැමිණෙන ප‍්‍රදීප් විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී පිළිගැනීමේ උත්සවයට එක්වේ. පිළිගැනීමේ උත්සවයෙන් පසුව රථ පෙරහරකින් කටුනායක සිට කොළඹ නගරය දක්වා පැමිණෙන ප‍්‍රදීප්ට සුබ පැතීමේ අවස්ථාව මඟ දෙපස සිටින ජනතාවට හිමිවේ. රථ පෙරහර පස්වරු 1.00 සිට සීදුව, ජාඇල, වත්තල, පෑලියගොඩ නගර ඔස්සේ කොළඹට පැමිණෙයි. මෙවර පැරාලිම්පික් උළෙලට රටවල් 164 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 4294 කට අධික පිරිසක් සහභාගි වුහ. ප‍්‍රදීප්, මීටර 400 (ටී46) ඉසව්වේ (පිරිමි) ලෝකඩ පදක්කම දිනාගත්තේය.