පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව සියයට 12.5 ඉහළට


මහින්ද නිශ්ශංඛ 
 
අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

 
රජයෙන් ලබා දුන් 6.56% ක බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව කියමින් අද රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් සිදු කරන බව එම සංගමය කලින් කියා තිබිණි.
 
ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බවත්, සියයට 12.5% බස් ගාස්තු වැඩි වීමක් ලබා දීමට ඇමැතිවරයා එකඟ වූ බවත් අංජන ප්‍රියංජිත් මහතා කීවේය.
 
අවම ගාස්තුව රුපියල් 12ක් කිරීමට සහ සමස්ථ බස් ගාස්තුව සියයට 12.5කින් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමැතිවරයා පොරොන්දු වූ බව කී සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය බස් ගාස්තු වැඩිවීම ලබන අඟහරුවාදා සිටම ක්‍රියාත්මක වන බව ද ප්‍රකාශ කළේය.