පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව බොටම් ට්‍රෝලර් තහනම්


(හර්ෂණ තුෂාර සිල්වා)
 
පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශය සඳහා බොටම් ට්‍රෝලින් මත්ස්‍ය පන්න ක්‍රමය සහිත යාත්‍රා ලියාපදිංචිය තහනම් කිරීමට ඉන්දීය රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත. 
 
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් දෙරට අතර පැවැති අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අනුව ඉන්දීය රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රධාන පියවර පහක් ගෙන ඇතැයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
බොටම් ට්‍රෝලින් මත්ස්‍ය පන්න ක්‍රමය අධෛර්යමත් කරමින් තිරසර මත්ස්‍ය පන්න ක්‍රම හඳුන්වා දීම සඳහා ඉන්දීය රජය සහ තමිල් නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය රුපියල් කෝටි 386ක් වෙන් කර ඇතැයි ද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
ට්‍රෝලින් ක්‍රමය යොදාගෙන පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ධීවර කටයුතු කිරීම වෙනුවට ගැඹුරු මුහුදේ ධීවර කටයුතු හඳුන්වාදීම, ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා යටිතල පහසුකම් සම්පාදනය කිරීම, සන්නිවේදන සහ හසුකර ගැනීමේ (ට්‍රැකින්) උපකරණ ලබා දීම, පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ විකල්ප ජීවනෝපාය ක්‍රම හඳුන්වා දීම යනාදිය එලෙස ගෙන ඇති පියවර වේ. 
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර සහ ප්‍රගතිය මෙන්ම ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙරට අමාත්‍ය මණ්ඩල හා නිලධාරී මට්ටමේ සාකච්ඡා ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වෙනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.