පොළොව නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් ගෙන ගිය විශ්‍රාමික මේජර් අත්අඩංගුවට


සිතුම් චතුරංග
        
කොටි සංවිධානය සඟවා තිබෙන රත‍්‍රං සෙවීම සඳහා භූමි අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකි ස්කෑනර් යන්ත‍්‍රයක් රැගෙන යමින් සිටි විශ‍්‍රාමික හමුදා මේජර්වරයකු හා රාජ්‍ය බුද්ධි අංශ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තවත් පුද්ගලයකු වවුනියාව නවගමුව ප‍්‍රදේශයේ දී ඊයේ (10) සවස මඩුකන්ද පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


හමුදා මේජර්වරයා ඇතුළු පිරිසක් විසින් ස්කෑනර් යන්ත‍්‍ර යොදා ගනිමින් වවුනියාව ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක් පරීක්ෂා කිරීම් සිදුකරන බවට ලැබුණු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක්ද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.


අත්අඩංගුවටගත් හමුදාමේජර් වරයා යුද සමයේ වවුනියාව ප‍්‍රදේශයේ රාජකාරි කළ අයකු වන අතර පොලිස් කොස්තාපල්වරයා රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව මැදවච්චිය ප‍්‍රදේශයේ සේවය කරන්නකු බවත් සෙසු පුද්ගලයා නුවර ප‍්‍රදේශයේ කෝපි අපනයන ව්‍යාපාරිකයකු බවද සඳහන් කළේය.


විශේෂ කාර්ය බළකාය පැවසූයේ සැකකරුවන් විසින් දීර්ඝ කාලයක සිට උතුරු පළාතේ ප‍්‍රදේශ කිහිපයක කොටි විසින් වළදමා සඟවා ඇතැයි පැවසෙන රත‍්‍රං සොයා පරීක්ෂා කිරීම් සිදුකර ඇති බවයි.


කිසියම් හෝ පොලිස් නිලධාරියකු ඔවුන් පැමිණි ජිප් රථය පරීක්ෂා කරන්නේ නම් බුද්ධි අංශ පොලිස් කොස්තාපල්වරයා විසින් තමන් පොලිසියේ රාජකාරියකට පැමිණි වග පවසමින් පොලිස් හැදුනුම්පත පෙන්වා පරීක්ෂා කිරීම් සිදුකරන පොලිස් නිලධාරීන් නොමඟ යවමින් පලායන බවට තොරතුරු අනාවරණයවූ බවද කීය.


විශ‍්‍රාමික යුද හමුදා මේජර්වරයා විසින් යුද සමයේ වවුනියාව හා මුලතිව් ප‍්‍රදේශයන් හි හඳුනාගත් ස්ථාන සැකකරුවන් විසින් පරීක්ෂා කිරීම් සිදුකර ඇතැයිද පැවසේ. 


අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අධිකරණ ක‍්‍රියාමාර්ග සඳහා වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානය වෙත බාරදෙනු ලැබිණි.