පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂකගේ නිවසට මිලියන 48 ක්


(ක.ග කරුණාරත්න)

මහජන මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය විනයක්, කළමනාකරණයක් තිබිය යුතුය යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන් ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මෙසේ ප්‍රකාශ කළේය.

පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ නිල නිවස ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්ෂ 48 ක මුදලක් වෙන් කිරීමත් බකමූණ රෝහලේ මෘත ශරීරාගාරය අලුතින් ඉදි කිරීමේදී එය මළ සිරුරු 35 ක් එකවර තැන්පත් කර තැබිය හැකි අන්දමේ විශාල මෘත ශරීරාගාරයක් ඉදි කිරීමත් ගෙනහැර දක්වමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

මේ මුදල් රජයේ මුදල්, රජයේ මුදල් කියන්නේ මහජනතාවගේ මුදල්, ඒ මුදල් වියදම් කිරීමේදී හොඳ මූල්‍ය කළමනාකරණයක්, විනයක් ඇතිව වියදම් කිරීම අවශ්‍ය වෙනවා. බකමූණ රෝහලේ මෘත ශරීරාගාරය සැලසුම් කළ අයත් තීන්දු කළ අයත් ඇයි මෙහෙම කළේ. ඒ මෘත ශරීරාගාරයේ මළසිරුරු 35 ක් දාන්න පුලුවන් එකක්. මේක සැලසුම් කළ අය අනුමත කළ අය හිතන්න ඕනෑ.

මේක අවුරුදු 100 කට ඇති පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂක නිල නිවාසය මිලියන 48 යි. අවශ්‍ය බඩු බාහිරාදිය දාල ඉවර වෙනකොට රුපියල් කෝටි 5 ක් යයි. සැලසුම් කිරීමේදී ඇස්තමේන්තු කිරීමේදී අදාළ නිලධාරීන් මේ ගැන හිතන්න. අපි සැලසුම් සකස් කරන කොට ව්‍යාපෘති හදනකොට විශේෂයෙන්ම 2018 අවුරුද්ද ජනතාවගේ ආර්ථිකය නංවන්න වැඩසටහන් හදන්න ඕනෑ.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.