පොළොන්නරුව මහාධිකරණයේ මිනීමැරුම් නඩුවක් යළි විභාගයට



 
 
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
ජූරි සභාවක් අවශ්‍ය ද නැද්ද යන්න විත්තිකරුවන් ගෙන් නොවිමසා නඩුවක් විභාගයට ගෙන තීන්දුවක් ප‍්‍රකාශ කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් පොළොන්නරුව මහාධිකරණයේ විභාගයට ගෙන තීන්දුව ප‍්‍රකාශ කළ මිනීමැරුම් නඩුවක් යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළේය.


අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ පොළොන්නරුව මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කළ විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සමක මූලික විරෝධතාවයක් සළකා බලමිනි.


පොළොන්නරුව මහාධිකරණය මෙම නඩු විභාගයට ගනු ලැබ ඇත්තේ අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ සඳහන් මූලික නීතියක් වන මිනීමැරුම් නඩුවක් විභාගයට ගැනීමට ප‍්‍රථම විත්තිකරුවන් ජූරි සභාවක් අවශ්‍යද නැද්ද යන්න විමසීම මූලික අවශ්‍යතාවයක් බවත්, මෙම නඩු විභාගයේ දී එය සිදු කර නොමැති බැවින් එය මූලික විරෝධතාවයක් හැටියට ඉදිරිපත් කරන බව පෙත්සම්කාර නීතීඥවරුන් දැනුම් දුන්නේය.


නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසින් මහාධිකරණය එය නොවිමසා සිටී සම්බන්ධයෙන් වරද පිළිගනු ලැබිණි.


මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ හිගරක්ගොඩ යුදගනාව පදිංචි අරුණ රොෂාන් හෙවත් උක්කුන් මහත්තයා,අජිත් රෝහණ හෙවත් චූටි , පල්ලේගෙදර නිරෝෂන් දිනේන්ද්‍ර රත්නායක සහ දොළ පිහිල්ලගේ විලියම් නැමැත්තන්ය.


පෙත්සමේ මෙසේද සඳහන් වේ.


මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම පිළිබඳ චෝදනාවට විත්තිකරුවන් වරදකරුවන් කරමින් පොළොන්නරුව මහාධිකරණය මඟින් ඔවුනට මරණ දඬුවම නියම කෙරිණි.


ඊට එරෙහිව මෙම අභියාචනා පෙත්සම විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරිණි.


ඔවුනට පනවා තිබූ මරණ දඬුවම ඉවත දමන ලෙස ඔවූහු සිය පෙත්සමින් ඉල්ලා ඇත.


පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ නෙරංජන් ජයසිංහ සහ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියහ.