පොළගකු දෂ්ඨ කරවා බිරිය මරන්න හැදු සිද්ධියට කාන්තාවක් සැකපිට අත්අඩංගුවට


( තිලකරත්න දිසානායක)
 
ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ ඇගට පොළගෙකු දමා දෂ්ඨ කරවීමට  උත්සාහ දැරූ එම කාන්තාවගේ සැමියා සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇති බවට සැක කරන කාන්තාවක් ගම්පහ මුලස්ථාන පොලීසිය මගින් අද    (7) අත්  අඩංගුවට ගෙන ඇත. 
 

ඉකුත් 30 වැනි දින නයි පනික්කියෙකුට රුපියල් 25,000 ක මුදලක් ලබාදීමට පොරොන්දුවී පොළගෙකු රැගෙන විත් ඔහු ලවා බිරිදගේ ඇගට දෙවරක් දමා  තිබේ.
 
ඇය එයින් බේරී තිබු අතර මීට සම්බන්ධවී ඇති පනික්කියා ,ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටී.
 
මෙලෙස පොළගෙකු දමා දෂ්ඨ කිරීමට සලස්වා සර්ප විෂ ශරීර ගත වීමෙන් බිරිද මිය ගිය බවට ඒත්තු ගැන්වීමට උත්සාහ දැරූ  ඇයගේ 54 හැවිරිදි සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පවසන පොලීසිය, ඔහු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන අතරතුර අනියම් ඇසුරක් පවත්වා ඇති බව කියන තැනැත්තිය අත් අඩංගුවට ගෙන තිබේ. 
 
මෙම තැනැත්තිය ගම්පහ,පදිංචි 42 හැවිරිදි එක් දරු මවකි. මෙම තැනැත්තියගෙන් ප්‍රශ්න කිරීමේදී පොලීසියට පවසා ඇත්තේ, තමන් මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලබන සපත්තු නිෂ්පාදනය කිරීමට සහාය ලබාදීම සිදු කරන බැවින් ඔහුගේ නිවසට නිතර යන එන බවය.
 
පොළගා දමා  ඝාතනය කිරීමේ සිද්ධියට මෙම කාන්තාව සම්බන්ධදැයි  සෙවීමට  ඇයගේ පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය පවසයි.
 
සැකකාර කාන්තාව අද  (7) ගම්පහ මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බිරිද ඝාතනය කිරීමට තැත් කළ සැමියා අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු  වෙමින් පවතී.