පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමයට


(අංජුල මහික වීරරත්න)

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබා දීම ඩිජිටල් ක්‍රම වේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබා දීමේදී අදාල ගොවීන් වෙත එකී සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මූල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාව සඳහා සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කර ගැනීමේ අවශ්‍යතාව මතුව තිබේ. 

එබැවින්, එම පසු විපරම් කාර්යයට ද පහසුකම් සලසමින් ගොවි ජනතාවට පොහොර ලබා දීම වඩා විධිමත්ව හා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රම වේදයක් යොදා ගැනීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. 

ඒ අනුව, පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවීන් කෘෂිකර්ම විෂය බාර අමාත්‍යාංශය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරීන් මඟින් හඳුනා ගැනීමටත්, එසේ සුදුසුකම් ලබන ගොවි ජනතාව වෙත පොහොර සහනාධාරය ලබා දීම සඳහා QR ක්‍රම වේදය හෝ සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සැකසීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය හා ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.