පොහොර වැඩි මිලට වික්කොත් දැඩි පියවර


(විනීතා එම් ගමගේ)


ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ලබාදෙන පොහොර මිටියක් රුපියල් 500 ක් වශයෙන් ද බාහිර අලෙවිසල් වලින් අලෙවි කරන පොහොර මිටියක උපරිම සිල්ලර මිල රුපියල් 1500 ක් වශයෙන් ද අලෙවි කළ යුතු යැයි රජය නිර්දේශ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. 

ඒ අනුව විවෘත වෙළඳපොලේ පොහොර මිටියක් රුපියල් 1500 කට වඩා අධික මිලකට අලෙවි කළ හොත් ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත. 

2018 යල කන්නයේ දී පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ ලබා දෙන පොහොර ලාභී ගොවීන් පිරිස 705370 ක් බවත් වගා කිරීමට අපේක්ෂිකත කුඹුරු ප‍්‍රමාණය අක්කර 1103861ක් බවත්  පෙන්වා දෙන කෘෂිකර්ම අමාත්‍යංශය මෙම පිරිස සඳහා පොහොර සහනාධාරය සඳහා වෙන් කළ මුදල රුපියල් කෝටි 3250 ක්  බවත් පවසයි.

විවෘත වෙළඳපොලේ පොහොර මිටියක් රුපියල් 1500 ට වඩා වැඩි මිලට අලෙවිකරන බව ගොවි නියෝජිතයින් අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවක දී පෙන්වා දි ඇති බවත් ඒ අනුව එවැනි වෙළඳුන්ගේ බලපත‍්‍ර අහෝසි කර ඔවුන් ගැන දැඩි පියවර ගන්නැයි අමාත්‍යවරයා නියෝග කළ බවත් කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.