( තිළිණි ද සිල්වා සහ රන්ජන් කටුගම්පොළ )
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහරගම පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ , වැලිගම , යන පළාත් පාලන ආයතනයන් සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 6 ක් එම පක්ෂය විසින් අද (24) ඉල්ලා අස් කර ගන්නා ලදී.
පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් අස් කර ගන්නා ලදී.
මෙම කරුණ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් පෙත්සම් විභාගයට නීතිමය පදනමක් නොමැති බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් විභාගයට නොගෙනම ඉවත දැමීම හේතුවෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් ඉවත් කිරීමට පෙත්සම්කාර පාර්ශවය කටයුතු කළේය.
අභියාචනාධිකරණය සභාපති විනසුරු ප්‍රීති පද්මන් සූරසේන විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැදවූ අතර එහිදී පෙත්සම් ඉල්ලා අස් කර ගන්නා ලදී.
මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් ඒ ඒ දිස්ත්‍රික් හි තේරීම් බාර නිලධාරීන් , පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිස් නම් කරනු ලැබ සිටිති.

