පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න පොලිස් වාර්තාව අනිවාර්යයි


(අංජුල මහික වීරරත්න)

ඉදිරි මැතිවරණ වලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදි වලට සම්බන්ධද? නැද්ද?යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නාම යෝජනා ලබා දීම, ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් තම පක්ෂය සමග කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ, වමේ හා අනෙකුත් දේශපාලන පක්ෂ හා ඒ බොහොමයක් නායකයන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හෙතෙම පැවසීය.

මැතිවරණයට දින තීන්දු වූ පසු මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන බවත් කෙසේ නමුත් අප ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.