(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන බව ඊ. පී. ඩී. පී . පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්ද මහතා අද(15) ලංකාදීපයට පැවසීය.
අනිකුත් නායකයන්ට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විහ්වාසය පළ කළ හැකි බැවින් ඔහු නම් කරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීමට තම පක්ෂය තීරණය කළ බවත් ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය.
ඉදිරි ජනාදිපතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩග්ලස් දේවානන්ද මහතා වැඩිදුරටත් මෙසේද කීය.
‘‘අපි නියෝජනය කරන ජනතාවගේ අවශ්‍යතාවය ඒ අයගේ ගැටලූ ආදිය පිළිබඳ සලකා බලලා තමයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපිට තීරණයක් ගන්න වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා සමග අපි දීර්ඝ කාලයක් එකට කටයුතු කළා. එතුමා අපි පිළිගන්න නායකයෙක්. අපේ ප‍්‍රශ්නවලට අනිත් අයට සාපේක්ෂව එතුමන් කන් දීලා තියෙනවා. එතුමා නියෝජනය කරන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරලා තියෙනවා.
එම පත්කිරීමේදී ඔහුට සහාය දෙන කණ්ඩායම් විදියට මහින්ද රාජපක්ෂ මහතා මගේ නම ප‍්‍රකාශ කළා. අපි ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ යුතුයි. අපේ ජනතාවගේ ප‍්‍රශ්න ගැටලූ පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතුයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ප‍්‍රකාශ කරලා තියෙනවා දෙමළ ජනතාවගේ ගැටලූ විසඳීමට සූදානම් කළා. රට ඉදිරියට ගෙනියන්නනම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි නායකයෙක් අවශ්‍ය බවට රටේත් මතයක් තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයත් සමග සහයෝගයෙන් කටයුතු කරන නිසා අපේ අවශ්‍යතා ඉටුකරන්න එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ඇතැයි කියා මම හිතන්නේ නැහැ’’ යැයිද ඔහු පැවසීය.

