පොහොට්ටු මන්ත්‍රීගේ කතාවෙන් හාරිස්පත්තුව ප්‍රා සභාව උණුසුම් වෙයි


(මොහොමඩ් ආසික්)
 
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිලක් රණසිංහ මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් පැවති විවාදයේදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා කළ ප්‍රකාශයක් නිසා අද (22) පැවති හාරිස්පත්තුව ප්‍රාදේශීය  සභාවේ මාසික මහ සභා රැස්වීමේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

 
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් බරිගම පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණ.
 
මෙහිදී එජාප   මන්ත්‍රී  තිලක් රණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ  උඩුවාවල ප්‍ර‍දේශයේ පිහිට ඓතිහාසික අම්බලමක් කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් කළ යෝජනාවකදී විජිත කුමාර නඳුන්ගේ මහතා දිගින් දිගටම කතා කරමින් ‘ගොන් නාම්බෝ’ කතාව ප්‍රකාශ  කළේය.
 
එහිදී මන්ත්‍රීවරයා කීවේ ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්ව අයගේ ගෝලයොත් ගොන් නාම්බෝ  වෙන්න ඕන යනුවෙනි මෙම කතාවට උරණ වූ එක්සත්  ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරු  නොසන්සුන් වූ අතර එයත් සමඟ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ එජාප මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් ප්‍රහාරයක්  ඇති විය.  
 
විනාඩි විසස්ක පමණ කාලයක් සභාව තුල දැඩි උණුසුම්  තත්ත්වයක් පැවැති අතර පසුව සභාපති ආනන්ද ජයවිලාල් මහතා දැඩි වෙහෙසක් දරා සභාව පාලනය කිරීමට කටයුතු කළේය.