(අංජුල මහික වීරරත්න)
පොසොන් උත්සවය ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
මිහින්තලය රජමහා විහාරාධිපති හා බාරකාර වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් මිහින්තලේ ආලෝක පුජාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කාර්යය කඩිනමින් ඉටු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ජාතික පොසොන් උත්සවය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන්නැයි ද මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත්කර සංස්කෘතික අමාත්‍යාංශය යටතට පවරාගන්නයිද මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ ආලෝක පුජාවේදී ඉල්ලා සිටියහ.
නාහිමියන්ගේ ඉල්ලීමට එම අවස්ථාවේදීම ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම ගැසට් පත්‍රය ඉතා ඉක්මණින් නිකුත් කරන බව ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා තමාට දැන්වූ බවයි.
මිහින්තලය විහාර පූජා භුමිය ජාතික උරුමයක් සේ නම් කිරීම ඇතුළු මිහින්තලා පුදබිම සහ පොසොන් උත්සවය සම්බන්ධව ධම්මරතන නාහිමියන් කර ඇති ඉල්ලීම් පිළිබඳව පියවර ගැනීමේ ක්‍රමවේද සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් පත්කිරීමට ද නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මේ පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සහ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වෙත මේ වනවිටත් අගමැතිවරයා උපදෙස් ලබා දී තිබෙන බවද අග්‍රාමාත්‍යය කාර්යාලය පවසයි

