සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පදවියට පත් වු දවසේ රාජාංගනයේ කඩයකින් රුපියල් 900ක භාණ්ඩ බලෙන් පැහැර ගත්තැයි කියන සිව් දෙනෙක් තඹුත්තේගම පොලීසියෙන් තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා වෙත ඉදිරිපත් කරනු ලැබුහ.
ආර් ඒ අරුණ ශාන්ත,ආර් ඒ රාජපක්ෂ,ජුඩ් චම්න්ද හා ආර් ජී ප්‍රදීප් එම සිව් දෙනාය.
මහේස්ත්‍රාත් ඔවුන් ලබන 06 තෙක් රිමාන්ඩ් කළේය.
සජිත් ප්‍රේමදාස මහතාට නව තනතුර ලැබීමේ සතුට සැමරීමට ඔවුන් කොළ පාට ඉටි රෙදි ද පැණි බීම බොතල් දෙකක් ද නුල් බෝලයක් ද ඔවුන් බලෙන් රැගෙන ගිය බව පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
එහෙත් කඩ හිමියා වන යු ඩි ගුණරත්න දිව්රුම් ප්‍රකාශයක් මගින් කියනුයේ එම භාණ්ඩ ඔවුන් ණයට ගත් බවයි.
තමාගේ එම ප්‍රකාශය සටහන් කැර ගත් පොලීසිය ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇතැයි ද තමා නොකළ පැමිණිල්ලක් මත මේ නඩුව පවරා ඇතැයි ද ඔහු කියයි.
කඩ හිමියාගේ දිවුරුම් ප්‍රකාශය මත සැකකරුවන්ගේ නෑයෝ පිරිසක් අනුරාධපුර මානව හිමිකම් කාර්යාලයට ද අද (25) පැමිණිල්ලක් කළහ.



