පොලීසියෙන් මිදී පැන යන්න හැදු සැකකරු නිවසේ උඩු මහලින් වැටී රෝහලේ



( ඉන්දිකා රාමනායක)


මත්කුඩු සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි  පුද්ගලයකු  අත්අඩංගුවට ගැනීමට කොම්පඤ්ඤවීදිය පොලිස් කණ්ඩායමයක් අද (10)   සැකකරුගේ  කොල්ලූපිටිය නිවසට ගිය අවස්ථාව් ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී නිවසේ  දෙවන මහලින් පැන යාමට උත්සහ කළ අවස්ථාවේ තුවාල ලබා කොළඹ ජාතික රෝහලය ඇතුළත් කළ බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.


  කොම්පඤ්ඤවීදිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් අද අලුයම  සැකකරුගේ නිවසට ගොස් ඇති අතර සැකකරු එම අවස්ථවේ  නිවසේ සිට ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.


 පොලිස් නිලධාරීන් දුටු සැකකරු ඉන්න සර් මම ඇඳුමක් දානගෙන එන්නම් යැයි පවසා නිවස තුළට ගොස් ඇති අතර එසේ ගිය සැකකරු  විනාඩි කිහිපයක් ගත වුවද නොපැමිණි හෙයින්  පොලිස් නිලධාරීන් ඔහු පරීක්ෂා කිරීමේ දී සැකකරු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පැනයාමට සිය දෙමල් නිවසින් බිමට  පැන ඇති අතර ඔහු  නිවසේ  තාප්පය හා බිත්තිය අතර දොබොක්කාවක  සිරිවී වේදනාවෙන් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.


පොලිසිය විසින් සැකකරු බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ එහි ප‍්‍රතිකාර ලබමින් පසුවේ.