ගල්ගමුව මීගලෑව ව්‍යාපාරික මහින්ද කුමාර ඒකනායක මහතාගේ පුත් දිනිදු යශේන් ලන්කානාත් කුමාර (41/2 ) පැහැරගත් බව කියන තරුණයින් සිව් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තුරු ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.
සැකකරුවන් කුරුණෑගල බන්ධනාගාරයට රැගෙන ගිය බවත් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් ඔවුහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රැඳවුම් නියෝගයක් මත රඳවා තබාගෙන රහස් පොලීසිය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගල්ගමුව උසාවියය ඉදිරිපත් කරනු ලැබුහ.
දරුවා පැහැර ගැනීමට යොදා ගත් යතුරුපැදි දෙකද රඳවා තුබු තැන්ද සොයා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරුවන් සිව් දෙනා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ඇතැයිද එය ලක්ෂ තිස්පහ දක්වා අඩු කැර ගැනීමට සමත්වී යැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.
මෙම දරුවා පැහැර ගැනීමෙන් තමන් කම්පාවට පත්වන බවත්, අඩු වයසේ තරුණයින් සිව් දෙනකු ඊට හවුල් වීම තමාගේ කම්පාවට තවත් හේතුවක් බවත් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
රහස් පොලීසිය භාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ,සහකාර පොලිස් අධිකාරී සමන්ත වීරසේකර සමුහ මංකොල්ල කෑම් විමර්ශන ඒකකයේ ප්‍රධාන පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා ,උප පරීක්ෂක පී එච් සී උපාලි, එච් පී බී අමරවංශ යන රහස් පරීක්ෂකවරු ද ගල්ගමුව,මීගලෑව,ගිරිබාව,අඹන්පොළ,පොල්පිතිගම පොලීසිද පොලීසිවල නිලධාරීහුද ගම්වාසීන්ගේ ද සහාය ඇතිව දින හතරක් පුරා මේ දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීමට වෙහෙසුණහ.
පොලීසියට ලොකුම මල් මිටක් හිමිවන බව ගැමියෝ කියති.
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ජගත් අබේසිරිවර්ධන, නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන්,නිකවැරටිය සහකාර පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ, මහව සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක, ගල්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස්ලි රූපානන්ද , අපරාධ අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා , මීගලෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂ සී පී ගුණසේකර මහත්වරුද මෙම මෙහෙයුම් වලට සහාය වු අය අතර වෙති.

