පොලිසියේදී අපයෝජනයට ලක්වූ දරුවා ළමා නිවාසයෙන් පැනයයි


(උපාලි ආනන්ද)


අධිකරණය ලබා දුන් නියෝගයක් මත පරිවාස බාරයේ රඳවා සිටි වැලිඔය  පොලිස් ස්ථානය තුළ දී අපයෝජනයට ලක් වූ බව කියන 15 හැවිරිදි පිරිමි දරුවා අද (6)  අලූයම ඔහු රඳවා සිටි අනුරාධපුර අශෝක ළමා නිවාසයෙන් පැනගොස් ඇති බව උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තෙමින්තුව  කියයි


වැලිඔය පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වැලිඔය පොලිස් ස්ථානය තුළදී  අපයෝජනය කර ඇති බව කියන මෙම 15 හැවිරිදි පිරිමි දරුවා උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තෙමින්තුවේ  ළමා රැඳවුම් නිවාසයට යොමු කර සිටියේ  කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මනෝජ් ප‍්‍රභාකරන් මහතා පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබා දුන් නියෝගයකට අනුවය.


එහෙත් මෙම දරුවා පරිවාස රැඳවුම් ළමා නිවාසයේ සිට කිසිදු ආරක්ෂාවක් නොමැති අනුරාධපුර අශෝක ළමා නිවාසයට යොමු ඇත්තේ  උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තෙමින්තුෙවි නිලධාරීන් විසිනි. 


දරුවා පැන යාම සම්බන්ධයෙන් ලංකාදීප කළ විමසුමකදී උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තෙමින්තුවේ නිලධාරීන් සදහන් කලේ අශෝක ළමා නිවාසයේ රඳවා සිටියදි දරුවා අද (6) අලුයම එම ළමා නිවාසයෙන් පැනගොස් ඇති බවයි.


මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියට පැමිණි කර ඇතැයිද ඔවුහු සඳහන් කළහ.


කෙසේ වෙතත් පැන ගොස් සිටින දරුවා සෙවීම සදහා අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී  චූලනී වීරරත්න මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාගේ මෙහෙයවීම මත පොලිස් කණඩායමක් යොදවා සිටී


දරුවා අපයෝජනය කළ බවට චෝදනා ලැබ සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  වැලිඔය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයා දැනට  අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටී.