පොලිසියේ පන්තියට ආ පොලිසියේ හතරකට කොරෝනා


(පුෂ්පකුමාර ජයරත්න සහ  රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් සඳහා අද පෙරවරුවේ පැවැත් වූ උපදෙස් පන්තියක් අතර තුර හදිසියේම රෝගාතුරවූ ඊට සහභාගි වූ නිලධාරීන් සිවු දෙනකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

උසස් පොලිස් නිලධාරියකුගේ සහභාගිත්වයෙන් එම උපදෙස් පන්තිය පැවැත්වෙමින් තිබියදී එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු එක් වරම ක්ලාන්තව ඇද වැටී තිබූ අතර ඉන් පසුව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුද ඒ අකාරයටම රෝගාතුරව ඇත.

එම නිලධාරීන් සිවු දෙනා ප්‍රතිකාර සඳහා වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව ඔවුන් සිවු දෙනාටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේවනවිට වාරියපොළ පොලිස් ස්ථානයේ සේවය කරන තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙකුටම සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස පවතින බැවින්  එහි සේවය කරන අනකුත් නිලධාරීන්  රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව ප්‍රදේශයේ උසස් සෞඛ්‍ය නිලධාරියෙක් ප්‍රකාශ කළේය.