කේ බුද්ධික කුමාරසිරි
යුද හමුදා කෝප්‍රල්වරයකු ඇතුළු දෙදෙනකුට පහර දුන්නැයි අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලිසියේ තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
ඉංගිරිය පෝරුවදන්ඩ කොස්හේන ප්‍රදේශයේ බස් නැවතුම්පලක රැදී සිටි යුද හමුදා කෝප්‍රල්වරයකුට හා තවත් තරුණයකුට ගිනි අවියක් හිසට තබා පහර දුන්නේයැයි සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන අද දක්වා රිමාන්ඩ් කර තිබිණි.
මෙලෙස ඇප නියම වූයේ ඉංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් අශෝක ප්‍රේමලාල්, පොලිස් සැරයන් රංජිත් සහ ආධුනික පොලිස් කොස්තාපල් සුරංග ලක්මාල් යන විත්තිකරුවන් තිදෙනාටය.
මෙහිදි හොරණ පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිළධාරීන් විත්තිකරුවන්ට ඇප ලබා දුන්නහොත් මහජන කැළඹීමක් සිදු විය හැකි බැවින් නැවතත් රක්ෂිත බන්ධනාගාර ලත කරන ලෙසඉල්ලා සිටියද විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සිදු කරන ලද දීර්ඝ කරුණු දැක්වීම් ඇනුව මෙම විත්තිකරුවන්ට කොන්දේසි මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.
මෙම නඩුව අවසන් වනතුරු සැකකරුවන් තිදෙනාගේ විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණය හමුවට පමණුවන ලෙස සහ සතියේ සෑම ඉරු දිනකම උදෑසන 9 ත් 12 ත් අතර පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට වාර්තා කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා සැකකරුවන්ට නියෝග කළේය.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබූ හොරණ මූලස්ථාන පොලිසියෙන් එම කටයුතු ඉවත් කර පානදුර පොලිස් අධිකාරීවරයා යටතට අදාල පරීක්ෂණ කටයුතු යොමු කරන ලෙසද මහේත‍්‍රාත්වරයා නියෝග කළ අතර අගෝස්තු මස 13 වෙනි දිනට දක්වා පැමිණිල්ල කල් තැබිණි.
එසේම පහර කෑමට ලක් වූ තරුණයින් දෙදෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දීමටද සැකකරුවන් තිදෙනා අධිකරණය හමුවේ එකඟත්වය පල කළ අතර අද දිනම එයින් රුපියල් 50,000ක මුදලක් ලබා දීමටද සැකකරුවෝ කටයුතු කළහ.