පොලිසියේ අභ්‍යන්තර කතාව ඛේදවාචකයක්



(අජන්ත කුමාර අගලකඩ)

පොලිස් නිලධාරීන් 250ක් පසුගිය වසරේ සේවයේ යෙදී සිටියදී අසනීප හේතුවෙන් මියගොස් ඇතැයිද පොලිසිය අභ්‍යන්තරයේ කතාව ඛේදවාචකයක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව ජනාධිපති මන්දිරයේදී අද(06) පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

පුවත් පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේදී පැවැති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබී නැති බව කීවේය.

අසනීප, විවිධ මානසික ප්‍රශ්න ආදිය ඊට බලපා ඇතැයිද ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති එම සාකච්ඡාවේදී පැවසීය.

ගෙවුණු වසර 20ක 25ක කාලය තුළ පොලිසිය බාරව සිටි ඇමැතිවරුන්, තමන් පොලිසිය බාර ඇමැති යැයි පෙන්වමින් ඔටුන්නක් දමාගෙන සැලියුට් ගස්සවා ගැනීම පමණක් කර ඇති බවද ඔවුන් පොලිසියේ දියුණුවට කිසිවක් කර නැති බවද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

පොලිස් නිලධාරිනියන් 2500ක් බඳවාගැනීමට ළඟදීම ගැසට් කරන බව කී ජනාධිපතිවරය උතුරු හා නැගෙනහිර පළාත්වලින් දෙමළ හා මුස්ලිම් තරුණයන්ද වැඩි වශයෙන් පොලිසියට බඳවාගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.