(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ස්වර්ණාභරණ කොල්ලයට අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් පොලීසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (22) අත්අඩංගුවට ගත් මොහු අද උදෑසන සඟවා තිබු ආයුද පෙන්වීම සඳහා පොලිසිය විසින් රැගෙන යද්දි මාතර කිරලකැලේ ප්‍රදේශයේදි පොලිසියට අත්බෝම්බයක් ගැසිමට තැත් කළ මොහොතේ පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සැකකරුගේ බෑගය සඟවා තැබූ තැනින් ගෙන ඒමට සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී අද පෙරවරු 7.15 ට පමණ බෑගයේ තිබූ අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත දමාගැසීමට සැකකරු උත්සාහ කළ බවයි.
“ඔහු බෑගයේ තිබූ අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත දමාගැසීමට උත්සාහ කළ නිසා පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තිබ්බා. එයින් ඇතිවූ තුවාල නිසා ඔහුව රෝහල්ගත කළත් පසුව මියගියා” යයිද ගුණසේකර මහතා පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම සැකකරු තවත් මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව පරීක්‍ෂණ වලින් හෙළිවූ බවයි
.
පාතාල නායකයකු ලෙසින් හැඳින්වූ උදම්මිට සමරේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූයේද චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා යයි කියැවේ.
අත්තනගල්ලේ පැවැති සංගීත සංදර්ශනයකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් සහ පසුගිය මැයි මාසයේ වේයන්ගොඩදී 54 හැවිරිදි කාන්තාවකට වෙඩිතබා මරා දැමීමටත් ඇයගේ පුතාට වෙඩි තැබීමටත් චාමර ඉන්ද්‍රජිත් සම්බන්ධ වී ඇතැයි පොලිස් පරීක්‍ෂණ වලින් අනාවරණය වී තිබේ.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු කොස්ගොඩ තාරක නම් පාතාල නායකයාගේ ගෝලයෙකි.
කොල්ලය සම්බන්ධයෙන් කොස්ගොඩ තාරක සහ ඔහුගේ සහෝදරයකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.