පොලිසියට පහර දුන් ප්‍රා.සභාපති රිමාන්ඩ්


ඩබ්ලිව් ඒ පියතිලක

රාජකාරියේ යෙදී සිටි පොලිස්  නිලධාරීන් දෙදෙනෙකුට බැන තර්ජනය කර පහරදීම සම්බන්ධයෙන්  පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 වැනි දා දක්වා    රිමාන්ඩ්   කරන ලෙස  පොලොන්නරුව   ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති නුවන් කුමාරගේ මහතා අද (10) නියෝග කළේය.
 
මෙසේ රිමාන්ඩ් කළේ  පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ, පොළොන්නරුව ඕනෑගම  ඩබ්ලිව්.එම් සමිත්‍ර හේෂාන් (29) සහ පොළොන්නරුව නවනගරයේ   දෙනගමගේ චමින්ද (36) යන තිදෙනාය.
 
පොලොන්නරුව, කදුරුවෙල සෝමීල් මංසන්ධියේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන (57042) ආරියවංශ සහ (76966) විජේරත්න යන මහත්වරුන් මෙසේ පහර කෑමට ලක් වූයේ ඊයේ (09) රාත්‍රී 7.20 ට පමණය.
 
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අනෙක් සැකකරුවන් දෙදෙනා පැමිණි වාහනයක් රථවාහන තදබදයක් ඇතිවන පරිදි මාර්ගයේ අසල නවතා තිබියදී එය එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසට පොලිස් නිලධාරීන් වි කළ දැනුම්දීමකට එරෙහිව මෙම පහරදීම සිදු කර තිබෙන බවත් සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මේ වන විට පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
 
මෙම පහරදීම සිදු කළ අවස්ථාවේදී සභාපතිවරයා සහ ඔහු සමග පැමිණි එක් සැකකරුවකු බීමත්ව සිටි බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.